.



Snowfall Widget for Blogger

Friday, May 30, 2014

මෝදි සමග ප්‍රවේසමෙන් වැඩ කරමු

    

                  නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයා ලෙස පත්වීම ලංකාවේ දේශපාලන අනාගතයට සුභදායී නොවන බව බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කලේ හෝමාගම හා වල්පිට පිහිටි දිස්ත්‍රික් කෘෂිකර්ම මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක එක් වසරක කෘෂිකර්ම පුහුණු පාඨමාලාව නිම කළ සිසුන් හට ස්වර්ණ තිළිණ සහ සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයට එක් වෙමිනි. ඇමතිවරයා එහිදී මෙසේද කීය.

ඇමතිවරයා එහිදී මෙසේද කීය.
‘දැන් අර සමහර අශීලාචාර සැමියන් තමන්ගේ බිරිඳට අපහාස කරන්න ඕනේ වුණහම කියන්නේ මෝඩි කියලා. මේ මෝඩිට මේක තේරෙන්නේ නැහැනෙ කියලා තමයි කියන්නේ. හැබැයි දැන් ඉතින් ගෙදර නෝනාට අපහාස කරන්න ඕනේ වුණහම මොඩි කියලා කතා කරන එකක් නැහැ. දැන් අපහාසයක් නෙවෙයි ඒක නම්බුවක්. ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රටේ අගමැතිගේ නමින් තමාගේ බිරිඳට කතා කළාම තමාගේ බිරිඳ කේන්ති ගන්නවා වෙනුවට සතුටු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අපේ සිංහල අපහාස ශබ්දකෝෂයෙන් මෝඩි කියන වචනය වීසි වෙන්න ඉන්දියානු මැතිවරණ ප්‍රතිඵලය හේතු වෙන්න ඉඩ තිබෙනවා. ලංකාවට තියෙන බලපෑම නම් ඒක නෙවෙයි. හැබැයි පහුගිය දවස්වල මම දැක්කා මාධ්‍යවල විග්‍රහා කරලා තියෙනවා නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය ලංකාවට හරිම සුභයි කියලා. මම නම් එහෙම දකින්නේ නැහැ. අපි දන්නවා පහුගිය කාලෙ ඉන්දියාවේ දිගටම තිබ්බේ අස්ථාවර ආණ්ඩු. හැත්තෑව අසූව දශකයෙන් පස්සෙ මේ පළවෙනි වතාවට ස්ථාවර ආණ්ඩුවක් ඇවිල්ලා තිබෙන්නේ. ඉන්දියාව බලවත්ව ඉන්න කාලේ හිතන්නේ අමරිකාව ලෝකයේ කරන දේ අපිට දකුණු ආසියාවේ කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලයි. දකුණු ආසියාවේ ඉන්න පුංචි පුංචි රටවල් අපිට ඕනේ විදිහට ඉන්න ඕනේ කියලයි. අපි ලොකු අය්යා කියලයි ඉන්දියාව හිතුවේ. ඊට පස්සේ ඉන්දියාවේ ස්ථාවර ආණ්ඩු හැදුනේ නැහැ. හැමදාමත් සන්ධාන තිබ්බේ. පුංචි පුංචි පක්ෂවලට ඕනේ විදිහට නටන ආණ්ඩු ආවේ. ඒක නිසා අපේ වාසනාවට අපි ගැන හොයලා බලන්න ඉන්දියාවට වෙලාවක් තිබ්බේ නැහැ. දැන් ඔන්න ශක්තිමත් ආණ්ඩුවක් ඇවිල්ලා තිබෙනවා.
ඉන්දියාව හැත්තෑව අසූව දශකවල මේ පුංචි රටවල්වලට හරියට හිරිහැර කළා. පකිස්ථානය ආක්‍රමණය කරලා. පකිස්ථානය දෙපළු කරලා බංගලිදේශය කියන අළුත් රට ලෝකෙට නිර්මාණය කළේ ඉන්දියාව. එක්දහස් නමසිය හැත්තෑ ඒකේදී. එක්දහස් නමසිය හැත්තෑ පහේදී සිකීමේ කියලා තිබ්බා කුඩා බෞද්ධ රාජ්‍යයක්. මේ රාජ්‍යය බලහත්කාරයෙන් ඉන්දියාවට ඈඳාගත්තා. අපේ තිම්පු සාකච්ඡා ඇති වුණේ, තිම්පු සාකච්ඡා ඇති වුණේ ඉන්දියාවට තිබ්බ බයට. ඉන්දියාවේ බලහත්කාරකමට. එක්දහස් නමසිය අසූ අටේ මාලදිවයිනේ කුමන්ත්‍රණයක් සිද්ධවුණා ආණ්ඩුව පෙරළන්න. මාලදිවයිනේ ජනාධිපති අබ්දුල් ගයුම් ලංකාවටයි කතා කළේ. අනේ අපේ රට බේරලා දෙන්න කියලා. ඉන්දියාව කිව්වා මේ පැත්තේ ඉන්නේ එක පොලිස් කාරයයායි. ලංකාව පැත්තකට වෙලා ඉන්න අපි ඒ වැඩේ බලාගන්නම් කියලා ඉන්දයානු හමුදාව යවලා කුමන්ත්‍රණය පරාජය කළා. මේ වගේ ආසියාවේ හැම පුංචි රටටම ඉන්දිරා ගාන්ධි, රජිව් ගාන්ධි බලහත්කාරකම් පාමින් හිටියේ.
හැබැයි ඉන්දියාවේ කොංග්‍රසයේ මහත්මා ගාන්ධිලා, ජවහල්ලාර් නේරුලා බිහි කරපු කොංග්‍රසයේ පංච ප්‍රතිපත්තියේ තිබෙන්නේ කුඩා රාජ්‍යයන්වල ස්වාධීනත්වය ගරු කළ යුතුයි කියලා. ඒ නිසා ඉන්දිරා, රජිව් කළ වැඩවලට ඒ පක්ෂයෙන් කිසිම තල්ලුවක් ආවේ නැහැ. හැබැයි දැන් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හිතන්නේ ඉන්දියාවේ අභිමානය යළි ගොඩනැගිය යුතුයි. මහා භාරතය යළි ගොඩනැගිය යුතුයි. ඒ නිසා මේ පුංචි පුංචි රටවල් අපිට ඕනේ විදිහට වැඩ කළ යුතුයි කියලා හිතන දේශපාලන පක්ෂයක් තමයි බලයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ අනාගතය ඒ තරම් සුභ නැතිය. ඉන්දියානු ලංකා සබඳතා සම්බන්ධයෙන් අපි ඉතාම ප්‍රවේශයෙන් කටයුතු කළ යුතුයි කියන එක තමයි මේ වෙන දේ දැක්කාම මට නම් හිතෙන්නේ. සමහරු හිතනවා නරේන්ද්‍ර මෝදි හාමුදුරුවරු දැක්කාම වඳිනවා ඒක හින්දා මේ බෞද්ධ රටක් හින්දා ලංකාවට හරිම ෂෝක් කියලා. හැබැයි නරේන්ද්‍ර මෝදිලාට දර්ශනය සපයන හින්දු විශ්ව පරිෂාද් කියන්නේ ඉන්දියාවට තිබෙන ලොකුම තර්ජනය බුද්ධාගමයි කියලා. මේ අවිහිංසාවාදී බුද්ධාගම ඉන්දියාව විනාශ කළා කියලා තමයි. අද ඉන්දියාවේ වැඩියෙන්ම කුලහීන අය හැරෙන්නේ බුද්ධාගමට. හින්දු ආගම අතහරින අය වැඩියෙන්ම වැළඳගන්නේ බුද්ධාගම. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවත් මම හිතන්නේ නැහැ ලංකාවට හිතවාදී විදිහට නරේන්ද්‍ර මෝදි හිතයි කියලා’



(සුසිල්-බලන)


No comments:

Post a Comment